Blogger Templates

Sunday, November 4, 2012

ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න

තාරුණ්‍යයේ පසුවන බොහෝ තරුණ තරුණියන්ගෙන් බහුතරයක් දෙනා මානසික ආතතිය (Menterd Stress) හෝ විශාදය (Depression) නිසා පීඩාවට පත්වූ අයයි. ඒ නිසාම බොහෝ තරුණ තරුණියන්ට තමන්ගේ අරමුණ කරා ගමන් කිරීමේදී විවිධ අපහසුතාවන්ට ලක්වීමට සිදුවන බව නම් නොරහසකි. මේ සියලුම ගැටලු වලට මුලිකම හේතුව වන්නේ මානසික සැහැල්ලුව නොමැතිකමයි. සැහැල්ලු බව තාරුණ්‍යයේ ඉදිරි ගමනට ඉතා වැදගත්. 



සියල්ල ඇත සැහැල්ලුව නැත


ජීවිතය සියලු භෞතිකමය සම්පත් වලින් සම්පුර්ණ වී තිබුණද බොහෝ දෙනෙකු තුළ සැහැල්ලු බව නැත. සියලු දේ තිබුණද සිතේ සැනසීම,සැහැල්ලුව නැති නිසා විදවන ජිවිත සමාජය තුළ අනන්තව ඇත. සැහැල්ලු බව සමග සතුට බැදී ඇත. සැහැල්ලු බව පිටුපස තෘප්තිය ලුහුබැද එයි.

කුරුලු සැහැල්ලුව 


දින කිහිපයක් පුර හිමිදිරියේ කුරුල්ලන් හැසිරෙන අයුරු නිරීක්ෂණය කිරීමෙන්,ඇතැම් විහගුන් හිමිදිරියේ අවදි වූ මොහොතේ මිහිරි ගීත ගයති. ඇතැමුන් කරනම් ගසමින් ව්‍යායාමයන්හි නිරත වෙති. තම පියාපත් විහිදා තුඩගින් ඒවා පිරිමදිති. හිරු එළිය ස්නානය කරති. කලත්‍රය සමග ආදරය හුවමාරු කරා ගනිති. ඔවුහු කිසිදා මිනිසුන් මෙන් අවදි වූ සැණින් ජීවිතය තුළ හතිලමින් දිවීම නොකරයි. සැහැල්ලුවීමේ ක්‍රියාකාරකම් වලින් පසුව මිස කිසිවිටක ආහාර සොයා නොයති. මිනිසුන් වන අප හටද කුරුලු සැහැල්ලුව තිබිය යුතුය. අවදි වූ පසු අපටම විශේෂිත වූ සැහැල්ලු වීමේ අභ්‍යාස යන ක්‍රමවේද අප වෙත තිබිය යුතුය. 

සැහැල්ලු හුස්ම


ඔබව ජිවත් කරවීම හැරුණු කොට සිතේ පීඩාවන් දියකර හැරීමට සහ ඔබව සැහැල්ලු කර දැමීමට ඔබේ හුස්මට ඇති බලය අපමණය. "හොදින් ජිවත් වීමට නම් හොදින් හුස්ම ගන්න යැයි" කියමනක් ඇත. සිත අසහනයෙන් පිරි ඇති මොහොතක දුකින් බර වී ඇති මොහොතක නාසයෙන් දීර්ඝ හුස්මක් ගෙන ඔබේ මුඛයෙන් දිගු හුස්මක් පිට කිරීමෙන් සැනෙකින් සිත සැහැල්ලු වේ. හුස්මගෙන සවිඥනික වීමේ භාවනාවක් (උදා :- ආනාපානසතිය) ප්‍රගුණ කිරීමෙන් ජිවිතයට සොදුරු සැහැල්ලුවක් එක්කර ගත හැක.

සිනහවක සැහැල්ලුව 


ජීවිතය දුකින් පිරි ඇති විට ප්‍රශ්න වලින් මිරිකී ඇති විට සිනහ වීම අපහසු බව සැබෑය. නමුත් සිනහසෙන විට දුක සහ ප්‍රශ්න අතුරුදහන් වන බව සැබෑවකි. නිරන්තර මුදු සිනහවක් මුව රදවා ගන්න. ඔබේ ජිවන බර සැහැල්ලු වනු නිසැකය. වේදනාවන්  නිසා මුහුණේ ඇදුණු රැලි අතුරුදහන් වනු ඇත. සිනහව පසුපස සැහැල්ලුව හබා එයි. 

අධ්‍යාත්මික සැහැල්ලුව


ඔබට දෛනික ආගමික චර්යාවක් තිබිය යුතුය. ගාථා, පිරිත් සංජායනයක් ගීතිකාවක් නැතහොත් භජන් ගායකයක් තුලින් ඔබට අධ්‍යාත්මික සැහැල්ලුව විදිය හැක. ජිවිත කාලය පුරා ඔබට බැහැරින් එල්ල වන අභියෝග හමුවේ නොසැලී සන්සුන්ව සිටීමට අධ්‍යාත්මික සැහැල්ලුව උපකාරී වේ. සතියකට පැය කිහිපයක්වත් ඔබේ ආගමික ස්ථානයේ ගතකිරීමෙන් බෝධි පුජාවක, දේව මෙහෙයක, දෙවියන් වැදීමක නිරත වීමෙන් ඇතුළාන්තය සන්සුන් කරගත හැක. ඔබේ ආගම කුමක් වුවද ඔබට ගැළපෙන භාවනා ක්‍රමයක් ප්‍රගුණ කිරීම අධ්‍යාත්මික සැහැල්ලුව ඇති කර ගැනීමට නොවරදින මගකි.

භෞතික සැහැල්ලුව 


ඔබේ ඇදුම් ආයිත්තම් සරල, චාම්, ප්‍රියමනාප ඒවා විය යුතුය. අනවශ්‍ය අභරණ, ආලේපන, විලාසිතා නිසා කායික සමබරතාව හා සැහැල්ලුව අහිමි කර ගත යුතු නැත. ඔබේ කාමරය, මේසය පමණක් නොව ඔබේ අත්බෑගය වහනය සමග ඔබේ මුදල් පසුම්බිය සහ කමිස සාක්කුව පවා යල් පැන ගිය කුණුකන්දරවලින් තොරව සැහැල්ලුව තිබිය යුතුය. ඔබේ පුද්ගලික ලිපි ගොනුව අනවශ්‍ය පැරණි යල් පැන ගිය කඩදාසිවලින් නිදහස් විය යුතුය. ඔබේ ආහාරය අධික තෙල්, මිරිස්, තුනපහ, රසකාරක, ලුණු සහ අධික මස් මංශවලින් නිදහස් වූ සැහැල්ලු සමබර එකක් විය යුතුය. අනවශ්‍ය මස්පිඩු හා මේදයෙන් නිදහස් වූ සැහැල්ලු නිරෝගි සිරුරක් ඔබට තිබිය යුතුය. දුම්වැටි, මත්ද්‍රව්‍ය, මත්වතුර ආදී ඔබේ සමබරතාව බිදලන සැහැල්ලුව විනාශ කරන ඇබ්බැහිවීම්වලින් ඔබ නිදහස් විය යුතුය. 

සැහැල්ලුව ගිලිහී ගිය කල  


* අසහනය ඔබව වෙලා ගනී.
* ආතතිය සහ විශාදය ප්‍රධාන නිපැයුම් වේ.
* කලකිරීම්, ඉච්ජාභන්ගත්වය අතුරු ඵල වේ.
* තාරුණ්‍යය ගිලිහී යයි. 
* වියපත්වීම ඉක්මන් වේ.
* හිසරදය, හර්දයබාධ, දියවැඩියාව, අංශභාගය ඇතුළු රෝග රැසකට ලක්වීමේ සම්භාවිතාව         වැඩි වේ. 
* ඔබේ සමාජ සබදතා  බිදවැටේ.
* ජිවිත ආශාව ගිලිහෙයි 
* අධ්‍යාත්මික හා භෞතික දියුණුව ඇනහිටී. 

සැහැල්ලු වන්න නම්  


* ආගමික සංහිදියාවක් ඇති කරගන්න.
* භාවනාවන් ප්‍රගුණ කරන්න. 
* යෝග අභ්‍යාස ප්‍රගුණ කරන්න.
* මිහිරි සංගීතය මුහුකර ගන්න. 
* සරල, සමබර, ප්‍රියමනාප ආහාර ගන්න. 
* ආශාවන්, බලාපොරොත්තු, ඉලක්ක සිමා කරගන්න. 
* අසහනය වපුරන පොත පතින් ඈත්වන්න. 
* සිතුවිලි අවුල් කරන ටෙලිනාට්‍ය, චිත්‍රපටවලින් දුරස් වන්න.                        

අඩු බරක් ඔසවාගෙන යන්නා බොහෝ දුරක් ගෙවා යයි. ජිවිතයේ වැඩි දුරක් ගෙවා යෑමට නම් අධ්‍යාත්මිකව හා භෞතිකව සැහැල්ලු වී පියවර තබා යන්න. 

No comments:

Post a Comment

Twitter Bird Gadget